වර්ෂ 2023 ක්වූ June 02 වැනිදා Friday
හෙළයො දෙන්නෙක් ඇවිත්ද මෙච්චර විනාසයක් කළේ...?

සමනළ කඳු යායේ පිහිටි ධූරාගේ සටන් ගම්මානයේ සිද්ධීන් එසේ සිදු වෙද්දී, සිම්ජාගේ කඳවුරේ ඇති වී තිබුණේ ඊට හාත්පසින් වෙනස් තත්ත්වයකි. පෙරදා රාත්‍රියේ සිය කඳවුර ආක්‍රමණය කළ ඝාතකයින් සොයා මුළු මහත් බළ සේනාවම අවදි වී පරීක්ෂා කළද, කිසිවක් සොයාගත නොහැකි වීමෙන් ඉහ වහා ගිය කෝපයෙන් යුතු වූ සිම්ජා සිහි විකල් වූවෙකු මෙන් මත් පැන් පානය කරමින්, දත් මිටි කමින්, අසභ්‍ය වචනයෙන් සිය සෙනෙවිවරුන් හට බැණ වදිමින් පසු විය.
එමෙන්ම සිය කඳවුර ආසන්නයේ තිබූ ඝන පඳුරු ගොන්නක තිබී, ගෙළවල් මිරිකා මරා දමන ලද තමාගේ සේනාවේ මුර සෙබළුන් දෙදෙනෙකු ගේ නිරුවත් මළ සිරුරු හමු වීම නිසා, අර ඝාතකයන් දෙදෙනා සිම්ජාගේ සේනාවේ සෙබළුන් ගේ ඇඳුම් සපයා ගත් ආකාරයත් පැහැදිලි විය.ඒ අතරතුරදී එම උදෑසන, නැගෙනහිර වෙරළබඩ සිට පැමිණි අශ්වාරෝහක පණිවුඩකරුවන් පිරිසක් පවසා සිටියේ සිම්ජා ගේ නෞකාව පෙරදා රාත්‍රියේ සිදුවූ සටනින් ගිනිබත්ව, මහ සයුරේ ගිලී ගියබවයි. එමෙන්ම වෙරළබඩ නවතා තිබූ පහුරු සියල්ලේම ආරක්ෂක ලුන්ඩා යෝධයින් සියලුම දෙනා,අස්වාභාවික ලෙස ගෙළවල් අඹරවා මරා දමා තිබූ බවත් ඔහු යටහත් පහත්ව සැළ කර සිටියෙන් සිම්ජාක්‍රෝධයෙන් දත් මිටි කෑවේය.“මෙච්චර දෙයක් වෙනකල් උඹලා මැරිලද හිටියෙ? මේ නීචයො සේනාවක් අරන් ඇවිත් මගෙ නෞකාව ගිනිබත් කරන කල් උඹලා මැරිලද හිටියෙ?”
සිම්ජා කෝපයෙන් වෙව්ලමින් පණිවුඩකරුවා ගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තෙන්, අසරණ මිනිසා සිම්ජා ඉදිරියේ දණින් වැටී මුහුණ වසා ගත්තේය. සිම්ජා ගේ කෝපය මාරාන්තික බව ඔහු දැන සිටි බැවිනි. “කියාපිය නීචයා... උංගෙන් කී දෙනෙක් උඹලා අතින් මැරුම් කෑවද? උංගෙ මළ මිණී කීයක් මට පෙන්නන්න උඹලා තියා ගත්තද?” අසරණ පණිවුඩකරුවා සෙමෙන් හඬ අවදි කළේය. “අවසරයි කුමාරෝත්තමයාණන් වහන්ස... ඔය කියන තරම් සේනාවක් නම් ආවෙ නැහැ..”
සිම්ජා මෙහිදී කුතුහලයෙන් හරේරා දෙස බැලීය. හරේරාටද ඇතිවූයේ විමතියකි.“සේනාවක් ආවෙ නැහැ...? එහෙනං මෙච්චර විනාසයක් කරන්න කොපමණ බළ ඇණියක් ආවද? කියාපිය ඉතින්. හෙළයො කී දාහක් ආවද මගේ ලුන්ඩා යෝධයො මරලා දාලා, සිම්ජා කුමරුන්ගෙ නැව විනාශ කරන්න?”
හරේරා තියුණු දෙනෙතින් යුතුව ප්‍රශ්න කළේය. “අපි දැකපු විදිහට කළු ඇඳගත්තු සටන් ශූරයින් දෙදෙනෙක් තමයි ආවෙ. උං දෙන්නා.....”මෙහිදී ඇතිවූ කෝපයෙන් සිම්ජා දෙකන් පෙති දක්වාම රතු වී ගියේය. ඔහු තමා අත වූ මත්පැන් බඳුනෙන් පණිවුඩකරුවාට දමා ගැසීය. ඉන්පසුව සිම්ජා කෝපයෙන් යුතුව ප්‍රදේශය දෙවනත් වන ලෙස යටි උගුරින් කෑ ගැසීය.“දෙන්නෙක්...? ඉඳුල් කන පෙරේතයා... පිට කොන්දක් නැති නීචයා... හෙළයො දෙන්නෙක් ඇවිත්ද මෙච්චර විනාසයක් කළේ? ආ...? පහුරු ආරක්ෂක යෝධයො සේරම මරලා දාලා, මගෙ නැවේ හිටපු සෙබළුත් ඔක්කොම මරලා, නැව ගිනි තියලා යන්න ආවෙ උංගෙන් දෙන්නෙක්ද..? තෝ කට ඇරල මගෙ මූණට කියන්නෙ එහෙමද? කියාපිය බල්ලෝ... කියාපිය... කියාපිය...”
පණීවුඩකරුවා ගේ බෙල්ලෙන් අල්ලා ගත් සිම්ජා ඔහුගේ කම්මුල් වලට වැරෙන් පහර දෙන්නට වූයෙන්, තොල් පැලී ගිය පණිවුඩකරුවාගේ මුවින් ලේ වැගිරෙන්නට වූයේය. එහෙත් සිය නායකයාගේ කෝපයේ තරම දැනගත් පණිවුඩකරුවා දණින් වැටීගත් වනම සිටියේ, සිම්ජාට විරුද්ධ වුවහොත් මරණය නියත බව දන්නා බැවිනි. පණිවුඩකරුවාට පහර දී හති වැටීමෙන් යුතුව සිම්ජා, අසරණ මිනිසාගේ බෙල්ලෙන් අල්ලා නැගිටුවාලීය.“කියාපිය... සිද්ද වෙච්චි සේරම අපිට කියාපිය...”
මෙහිදී තරමක් සන්සුන් වූ මිනිසා මුවින් වැගිරුණු රුධිරය සෙමෙන් පිටි අත්ලෙන් පිසදාගෙන, සිදු වූ සියල්ල හෙළි කරන්නට විය. ඔවුන් ප්‍රධාන නැව වටා තිබූ අනෙක් නැවක මුරට සිටි අන්දමත්, කිසියම් කලබලයකින් මෙන් ප්‍රධාන නැවේ අනතුරු හඟවන ඝණ්ටාරය නාද වන්නට වූ බවත්, තමන් ආයුධ රැගෙන විත් බැලූ විට, නැව් තට්ටුව මත කිසියම් කඩු සටනක් ඇති වූ බවත්, ඔහු පවසා සිටියේය. එම නෞකාවේ සගයන්ට පහර දුන් කළු පැහැති ඇඳුමින් සැරසුණු දෙදෙනෙක් යාන්තමින් දිස්වූ බවත්, නැවේ දැල්වුණු පන්දම් පවා නිවා දමා ඝන අන්ධකාරයේ සිතා ගැනීමට පවා නොහැකි තරම් වේගයෙන් පහර දී නෞකාවේ සෙබළුන් ඝාතනය කළ බවත් ඔහු හෙළි කළේය.
ප්‍රධාන නැවට යාමට සයුරට බැස පිහිනා ගිය සිය සගයින් සියලුම දෙනා සිතාගත නොහැකි තරම් කෙටි කාලයක දී නොපෙණුනු ඝාතකයෙකු විසින් දිය යටට ඇද මරා දමනු ලැබූ අන්දමත්, ඉන් පසුව යුද ඔරු වල නැගී පිහිනා යාමට සූදානම් වූ මොහොතේ මහා හඬක් නගමින් ප්‍රධාන නෞකාව පුපුරා ගිය අන්දමත් පණිවුඩකරුවා සිම්ජාට සැළ කළේය. එම තොරතුරු සැළ කරන්නට යුද ඔරු වලින් ගොඩ බිමට පිවිසි මොහොතේ, වෙරළේ නවතා තිබූ පහුරු වල ආරක්ෂාව සඳහා රැකවල් කළ ලුන්ඩා ගෝත්‍රිකයින් සියලුම දෙනා අස්වාභාවික ලෙස කිසිදු තුවාලයක් නොමැතිව ගෙළවල් අඹරවා මරා දමා තිබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙහිදී සිම්ජා කෝපයෙන් වෙව්ලන්නට විය. ඔහු ඒ සැණින් අසිපත ඇද ගත්තේ අසරණ පණිවුඩකරුවා දෙපළු කර දැමීමටය. එහෙත් මෙහිදී යම් කිසිවෙක්, සිම්ජාගේ අතින් අල්ලා ඔහුව වළකාලූවේය. ඒ නම් හරේරා විය. “අපි මේ වෙලාවෙ කේන්ති අරන් ප්‍රතිඵලයක් නැහැ සිම්ජා කුමරුනි. මොකද අපේ එක් සෙබළෙක් ගේ ජීවිතයක් වුණත් මේ වෙලාවේදී වටිනවා. ඒ නිසා මදක් ඉවසන්න.”
සිම්ජා මෙහිදී පණිවුඩකරුවා තල්ලු කර දැමීය. ඔහු දත් මිටි කමින් හරේරා දෙස බැලීය.“එහෙනම් නුඹ කියන්නෙ මට මොකක් කරන්න කියලද? ඒ නීචයො දෙන්නෙක් ඇවිත් අපේ සෙබළුන් ගණනාවක් මරලා ගිහින්. ඒකම මදිද මූව මරන්න?”
හරේරා මෙහිදී තියුණු දෙනෙතින් සිම්ජා දෙස බැලීය. ඔහු සන්සුන්ව කතා කළේය. “අපි මෙහෙම කරමු. දැන් අපි කරන්න ඕනි අපේ අනෙක් සේනාවත් එක්ක එකතු වෙන එක. ඔය සිතියමනැති එක ලොකු පාඩුවක් තමයි. ඒ වුණාට කුමරුනි අපිට පුළුවන් අනෙක් සෙබළුන් එක්ක එකතු වෙලා තනි විශාල සේනාවක් විදිහට උන්ගෙ සමනළ අඩවියට පහර දෙන්න. ඒකට කරන්න ඕනි හැකි ඉක්මණින් මෙතනින් පිට වෙලා අපේ ඉදිරි සෙබළුන්ගෙ මග පෙන්වීම මත අනෙක් බළ සේනාවන් තුනත් එක්ක එකතු වෙන්න. මොකද එහෙම වුණාම අපේ දේශයන් හතරේම සෙබළුන් එකතු වෙනවා. ආයෙ හෙළයන්ට අපිව නවත්තන්න වෙන්නෙ නැහැ.” හරේරා සන්සුන්ව විස්තර කළේය. සිම්ජා, ඉග්ලීස් රජු සහ ජාගෙන් සාවධානව අසා සිටියහ. සිම්ජා කෝපයෙන් සිටියත්, අනෙක් දෙදෙනා කල්පනා කළේ මේ ආක්‍රමණය කොතැනින් කෙළවර වේද යන්නයි. කෙසේ ආක්‍රමණය කළත් එය ලේසි පහසු යුද්ධයක් නොවනා බව නම් පැහැදිලිය.
එසේම ජාගෙන් මෙහිදී කල්පනා කළේ වෙනත් දෙයකි. මේ ආක්‍රමණයේදී මුහුණ දෙන්නට සිදු වන්නේ තමන් මෂ්පිණ්ඩි ගේ අඳුනෙන් දුටු ආකාරයේ රණ ශූරයන් පිරිසකට නම් තමන්ගේ ඉරණම කුමක් සිදු වේද? තමා හා පැමිණි තම විශ්වාසවන්ත සෙබළ පිරිසට කුමක් සිදු වේද? ඔහු දස අතේ කල්පනා කළේ සිදුවන්නට යන ජීවිත හානිය අවම කරන්නේ කෙසේද යන්නයි.ඔහු යළිත් වරක් හොරැහින් සිය සගයින් දෙස බැලීය. ඔවුන් කිසිවෙකුට වගේ වගක් නැත. සියලුදෙනා කල්පනා කරන්නේ මෙම සටන සිදු කළ හෙළ දෙරණ විනාශ කරන්නේ කෙසේද යන්නයි.
එහෙත් ජාගෙන් කල්පනා කළේ මෙම උත්තරීතර දේශයත්, එහි ශ්‍රේෂ්ඨ ජනතාවත් තම සගයන්ගෙන් ආරක්ෂාකරන්නේ කෙසේද යන්නයි. ඔහු එක් දෙයක් සිතා ගත්තේය. සියල්ලන්ටම හොරා, සිය බළ සේනාවට රහසිගත පණිවුඩකරුවන් මගින් මෙම සිද්ධිය දන්වා ලීමටයි. එහෙත් ඒ සඳහා තමන් ඔවුන් මේ සගයින් සමග එම සේනාවන් පැමිණෙන ඉසව්වට යා යුතුය. එහිදී ලැබෙන පළමු අවස්ථාවෙන් තම උපසෙනෙවියනුත්, බළ සේනාවත් දැනුවත් කළ යුතුය. ජාගෙන් අධිෂ්ඨාන පූර්වකව සුසුමක් හෙළීය.
මතු සම්බන්ධයි.
කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත